21st November 2022

To Be Like Jesus

ජේසුස් මෙන් වන්නට…

ලංකාවේ සිදු වෙන සමහර දේවල් දැක්ක හම පිස්සු වගේ. පේස්බුක් එකට පොඩ්ඩක් ඔලුව දැම්මාව කැරකිල්ල වගේ. මේක කාටහරි කියන්න එපාය. ඔන්න ඒක නිසා මම ඔයාලට මේක කියනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක මගේ වගකීම මොකක්ද කියලා මම කල්පනා කළා. මම කිතුනුවෙන් නිසා මම ජේසු කැමැති දේද කරන්නනෙ කියලා හිතලා බැලුවා. මේ වගේ අදහසක් ආවා.

පළමුවෙන්ම අපි තේරුම් ගත යුත්තේ අපි කිතුනුවන් වන්නේ සැබෑ ලෙස ජේසු අනුගමනය කිරීම තුළයි.1 පේදුරු 2. 21- 22 පද කියන පරිදි “ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක”. අප කැඳවන්නේ ආදර්ශයක් දීමටයි. ජේසුට මේ ලෝකය තුල දෘශ්‍යමාන ශරීරයක් නැත. අපේ ශරීරතුලින්, ජීවිත තුලින් ජේසුගේ ස්වරූපය ලෝකය වෙත ගෙනයාමයි අරමුණ විය යුත්තේ. සැබෑ කිතුණුවෙක් වන්නට නම් යේසුස් වහන්සේගේ දෑසින් මේ ලෝකයේ දැවෙන ප්‍රශ්ණ දිහා බැලූ ආකාරයට අපි ලෝකේ දැවෙන ප්‍රශ්න දිහා බලන්නට අවශ්‍යයි. ජේසු ක්‍රියා කල ආකාරයට ක්‍රියා කිරීම අවශ්‍යයි. එවිටයි අපි ජේසුගේ සැබෑ දරුවන් බවට පත් වෙන්නේ.

යේසුස් වහන්සේ එදා සමාජයේ දිළිඳුභාවය දැක්කේ වෙනස් විදියට. මිනිස්සු දිළිඳුවෙලා හිටියේ ඔවුන්ගෙම වරදින් නොවන බව ජේසු දැක්කා. පොහොසතා විසින් දුප්පතා සෙරෙප්පු දෙකක මුදලට මිලට ගන්නට සදාචාරය පිරිහිලා තිබුණා. ජේසුස් වහන්සේ දිළිඳුභාවය නැති කරන එක පිළිබඳව ජේසු කතා කරන්නේ ඔබට තියෙන දේ අසරණ කෙනා සමග බෙදා ගන්න කියා ය.එතකොට කවුරුත් අධිකව පොහෙසතතුත් නෑ දුප්පතුත් නෑ. එලෙසම අධික ලෙස ධනවත් වීම දුප්පතාගේ තිබෙන අයිතිවාසිකම් උදුරා ගැනීමක් ලෙසද උන්වහන්සේ පෙන්වා දුනි. ශු. ලූක් 6.20 ට අනුව “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය;මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.” යන්නට අනුව දැන් දිළිඳුව හිටියත් දේව රාජ්‍යයේ කොටස්කාරයක් බව ජේසු මතක් කරනවා.

වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 17%ක් වන සුලු පිරිස ලෝකයේ සම්පත්වලින් 80% බුක්ති විදියි. සම්පත්වලින් 20% ක් ලෝක ජනගහනයෙන් බහුතරයක්වන ඉතිරිකොටස බුක්තිවිදියි. මෙය ජේසු කියන අසාධාරණය නොවේද යන්න සිතිය යුතුය.

උදාහරණයක් ලෙස ලාසරස් සහ පොහොසතා ගේ කතාවෙන් ජේසු අපට උගන්වන පාඩම නම් පොහොසතාට තිබුණු දෙය දුප්පතා සමඟ බෙදා නොගැනීමයි ඔහු ආත්ම නිවාසයේ දුක් විදීමට හේතු වුණේ. ඔහුට හැකියාව තිබුණා තමාට තිබුණ දෙය බෙදාගන්නට. ලාසරස් ආහාර ගත්තේ පොහොසතාගේ මේසෙන් වැටුණු කැබලිය. නමුත් ඔහුට හැකියාව තිබුණා ඔහුගේ මේසෙන් දූප්පතාට ආහාර සපයන්නට. ජේසු කතා කරන්නේ මෙන්න මේ විපර්යයාසය සිදුකරන්නටයි. අපි මේ සමාජයේ අසරණ අය දකිනවා. නමුත් අපි කල්පනා කරන්නේ “අපිට වඩා සල්ලි තියෙන අය ඉන්නවානේ. අපි දුප්පත්නේ. උදව් කරන්නේ කොහොමද?” කියලා හිතනවා. ජේසුතුල පොහොසත් වීම දුප්පත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කලා යන්න අවශ්‍යතාවයක් මතුකරන්නට හේතු වේ. ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යිජේසු වදාරන සේක.

අපි මනුෂ්‍යත්වය අතින් පොහොසත් විය යුතු ආකාරයද යේසුස් වහන්සේ පෙන්වා දෙනවා. මනුෂ්‍ය වටිනාකම් දකින්නැතුව අපි ජීවිතය ගෙවනවා. අන් මනුෂ්‍යයාගේ අවශ්‍යතාව නොසලකා මගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමේ උනන්දුවක් අපි අතර තිබෙනවා. මගේ අර්මුණට යන්නට ඊට හරස් වෙන සියලු දෙනා කපා බිම හෙලා දම්මින් මම මගේ මාර්ගයේ යනවා කියන අරමුණ ඇති බොහෝ දෙනෙක් අද අපට සමාජයේ සම්බ වේ. ඒ සියලු දෙනාගේ අරමුණ මුදල් අතින් ධනවත් වීමේ ය. තරතුරු අතින් ඉහල ට යාමය. දෘශ්‍යමාන පොහොසත්කමක් ළඟා කර ගැනීමයි. නමුත් ඇතුළත ඇත්තේ දුකකි. මන්ද මුදල් අපේ ලෞකික අවශ්‍යතා ඉටුකලාද අධ්‍යාත්මය පෝෂණය මුදලින් සිදුකරගත නොහැකි නිසාය. මුදල කොතනද එතන සිතත් තිබෙනවා යන්න ජේසු පෙන්වා දෙනවා. අතිවිශාල මුදල් ප්‍රමාණ අනවශ්‍ය ලෙස වියදම් කරමින් ජීවිතය ගෙවන්නට උත්සාහ කරන මනුෂ්‍යයන් අතර එදා වේල ආහාර නොමැතිව අඬන දරුවන් සිටින සමාජයකයි අපි ජීවත් වෙන්නේ. නමුත් අඩන දරුවන් අපේ ඇස් වලට නොපෙනෙන තරමට අධභාවයට පත්විමයි ගැටලුවක්ව පවතින්නේ . ජේසු අපව කැඳවන්නේ බොරුව අපිව දිනෙන් දින රවටන සමාජයක මනුෂ්‍යත්වය ඔප්නැංවීමටයි.

1910 අගෝස්තු 26 සිට 1997 සැප්තැම්බර් 5 කාලය තුල කල්කටාවේ ශුද්ධවූ තෙරේසා මවුතුමිය ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබු තෙරේසා මවුතුමිය අසරණ පුද්ගලයින් වු HIV/AIDS අසාදිතයින් ,ලාදුරු සහ ක්ෂය රෝගයන් වැලදී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල් වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන,බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශනා වැඩසටහන්, ළමා නිවාස සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළාය. එසේම කණ්ඩායමේ සාමාජිකයින් පවිත්‍රතාව රැකගැනීම, දිළිඳුකම, කීකරු බව, සහ හතර වන පොරොන්දුව වන "දුප්පතගේත් දුප්පතුන් වෙනුවෙන් ඔවුන්ගේ ස්වෙච්චා සේවයන් කිරීම" වෙනුවෙන් ද බැදී සිටි යුතුයි, යන්න නොපිරි හෙලා ඉටු කල තැනැත්තියකි. තෙරේසා මවුතුමියගේ වචන වලට අනුව ඇය කියා සිටියේ "මගේ සිරුරේ දුවන රුධිරය ඇල්බේනියානු වන අතර, පුරවැසි භාවයෙන් ඉන්දියානු වන අතර සත්‍ය වශයෙන්ම මා කතෝලික කන්‍යා සොහොයුරියක් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මා ජේසු සමිඳාණන්ගේ හදවතින් යුක්ත බවත්ය. තෙරේසා මව්තුමිය දිළිඳුකම දැක්කේ තමා දෙවියන්ට කරන පූජාවක් ලෙසයි.

එදා සමාජය තුළ නීති රීති තිබුණා. ඒ මිනිසුන්ව ගොඩනඟන්නට කියලා හදපු නිති රිති. නමුත් මිනිසුන් නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළා ඔහුගේ ජීවිතය තුළ ආදරය කරුණාව නැතිව. නීති තියෙන්නේ මනුෂ්‍යයන් යහපත් කරන්නට. ගොඩනගන්නට. නමුත් ඒ නීතියම මනුෂ්‍යයා වහල්භාවයට පත් කරනවා නම් නීතියේ අවශ්‍යතාවයක් නැත. ජේසු කතා කරන්නේ නීතියට එහා ගිය ආදරයක් ගැනයි. නීතියෙන් කරන්නට බැරි දේ ආදරෙන් කරන්නට පුළුවන් කියන එකයි. ඒ තමයි ආදරයෙන් ජීවිතය දිනන්නට පුළුවන් කාරණාවක්. පව්කාර ස්ත්‍රිය යේසුස් වහන්සේ ළඟට ඇදගෙන ආවා. ඉන්පසු ජේසුස් වහන්සේ කියන්නේ තවදුරටත් පවු කරන්න එපා කියලා. වැරදි කරපු ජීවිත ජේසු දැක්කා. නමුත් ජේසු එතුමගේ ආදරය තුළ තවදුරටත් ඒක නොකරන ලෙස අපෙන් ඉල්ලා සිටිවා. ජේසු අපට කියන්නේ පාපය නැති කළ යුතුයි. නමුත් පව සිදුකරන්නා නැති නොකළ යුතුයිි යන්නයි. මෙය සමාජගත කලයුතු කාලය එළඔ ඇත.

ශුද්ධ බයිබලයේ අපි තවදුරටත් සොයා බලන විට පැහැදිලි වන කාරණයක් නම් ආබ්‍රහම් ව දෙවියන්වහන්සේ කැඳවනවා බොහෝ ජාතීන්ට ආශිර්වාදයක් වනු පිණිස. බොහෝ විට අපේ කැමැත්ත නම් මගේ දෙය ගොඩනඟා ගැනීමයි. දෙවියන් වහන්සේ සියලු දේ අත් හැරලා ආබ්‍රහම් කැඳවන්නේ දේව ආශිර්වාදය අත් දකින්නයි. ඒ ඔහු විතරක් නොවෙයි ඒ දේව ආශිර්වාදයක් දකින්නේ. බොහෝ ජාතීන් ඔහුගේ විශ්වාසය තුළ ආශිර්වාද ලබනවා. දෙවියන් අපව කැඳවනවා කිසි දෙයක් නැති ජීවිතය තුළින් බොහෝ ආශිර්වාද ලබන්නට. ඒ වගේම ඒ ආශිර්වාදය බොහෝ ජාතීන්ගේ ආශිර්වාදයක් බවට පත් කරන්නට.

Lao-Tzu නැමැත්තාගේ චීන උපහැරණය කියනවා මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි අපි මාළුවෙක් දුන්නොත් එක දවසකට ජීවිතය පෝෂණය කිරීමක්. නමුත් මාළු අල්ලන්නට උපක්‍රමයක් යෙදුවොත්, එසේ නොමැති නම් මාඵ අල්ලන ක්‍රමය කියලා දුන්නොත් ඔවුන් හැමදාටම මාළු අල්ලගා ගෙන ජීවත් වෙනවා. අපේ ක්‍රමය තුළ අපි මනුෂ්‍යයන් ගොඩ ගොඩ නංවන්නේ අපේ පස්සෙන් එන්නටයි. නමුත් අපි මනුෂ්‍යයන් ගොඩ ගොඩනැගිය යුත්තේ අපි පසුකර යාමටයි. ඒ කාර්යභාරය වෙනුවෙන් අපිව අද දවසේ කැඳවලා තියෙන්නේ. ඒ සේවකත්වය සඳහායි අපිව කැඳවලා තියෙන්නේ. ලොවේ ජීවත්වෙන බොහෝ අය සිතන්නේ තමාගේ දේ කරගෙන හිටියහම ඇති. අන් අයට හොඳ කරන්නට අවශ්‍යතාවක් නැතැයි යන්නයි. අපි එතනින් මිදිලා අලුත් විදිහට සිත්න පතන සමාජයක් නිර්මාණය කළ යුතුයි. තවත් අපි කියන කාරණාවක් නම් දැන් හැදෙන සමාජයයේ අය අයහපත් කියලා. දැන් හැදෙන සමාජය හදන්නේ කවුද. ඔබ සහ මමයි. ඒ කාර්යභාරය ඔබට සහ මට තිබෙනවා. දැන් මම හොඳින් හැදෙනවා නම්, එසේම මම අන් අයව යහපත් කරන්නට උත් උත්සාහ කරනවානම්, මම හෙට සමාජ පමණක් නොව අද සමාජයද යහපත්ව හදනවා.

ශු. බයිබලය කියනවා ශරීරයේ එක ස්ථානයක වේදනාව මුළු ශරීරයට දැනෙනවා වගේ සමාජයේ මනුෂ්‍යයන්ගේ වේදනාව අප සිරලු දෙනාට දැනිය යුතු බව බයිබලය අපට පෙන්වා දෙනවා. අපට මතකයි සුනාමි අවස්ථාවේදී, ඒ වගේම රමස්සර කන්ද නාය ගිය අවස්ථාවලදී, ඒ වගේම ගං වතුර පැමිණි අවස්ථාවල මනුෂ්‍යයන්ගේ දායකත්වය කොපමණද කියලා. වෙනදා වතුර බෝතල්යක් අන් අයට දෙන්නට අකමැති මනුෂ්‍යයන් ඔවුන්ගේ සිත වෙනස් වෙලා වතුර බෝතලයක් පරිත්‍යාග කරන්නට පෙළඹුණා. කොටුව දුම්රිය ස්ථානයට කෑම පැකැට් එකක් ගෙනත් දෙන්නට කියු පණිවිඩයට රැකියාවට යන සියලු දෙනා කෑම පාර්සලය කොටුව දුම්රිය ස්ථානයේ තබා ගියා. කෑම පාර්සලක් පාසලට ගේනනට අපහසු දරුවාට කෑම පාර්සල් පෙට්ටියක් පාසලේ තැබුවා. අපිට යම් කාර්යයක් සිද්ධ කරන්නට කණ්ඩායමක් විදිහට වැඩ කළ යුතුයි. එක් එක් පුද්ගලයා තුළ විවිධ නිපුණතාවයන්, දක්ෂතාවයන්, විවිධ තලෙන්ත තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස අප සිතිය යුත්තේ තම තමාගේ තලෙන්ත ඉදිරියට ගෙන ඒමට වඩා සියලු දෙනාට ඇති හැකියාවන් රටට වැඩදායක ලෙස යොදා ගැනීමයි.

1918 ජුලි 18 සිට 2013 දෙසැම්බර් 05 කාලය තුළ ජීවත් වූ නෙල්සන් මැන්ඩෙලා සමාජ ක්‍රියා ක්‍රියාකාරිකයෙක් මෙන්ම පසුව දකුණු අප්‍රිකාවේ ජනාධිපති තැනටද පත් වූයේ එතුමා තුළ තිබුණා වූ දුරදර්ශී සමාජ ක්‍රියාවන් හේතුවෙනි. දකුණු අප්‍රිකාවේ සුදු කලු වර්ණ භේදය තුළ පීඩා විදි ජනතාව වෙනුවෙන් එතුමා සමාජ සාධාරණත්වය කතා කළේය. දුප්පත්කම තුරන් කිරීමට ඔහුට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ගත්තේ ය. අවියෙන්, යුද්ධයෙන්, තොර සාමයක් කරා යන්නට අවිහින්සාවාදී අරගලයක නිරත වන්නට ඔහුට හැකි විය. එහි ප්‍රතිඵලය නම් ඔහු ලද ජයද ජයග්‍රහණයි. අප සමාජයතුල ජාතිවාදය, ආගම්වාදී ,කුළ බේද වැනිදෑ අභිබවා යන්නට ධෛර්යමත වීම අප ලංකිකයන් සිදුකල යුත්තකි. අවුරුදු 30 යුද්ධ අත්දැකීම තුළ අන්තවාදි අදහස් අත හැරීම අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරු අගමැති Lee Kuan Yew 1950දී පැවසූ පරිදි සිංගප්පූරුව ලංකාව මෙන් දියුණු රටක් කිරීමේ අවශ්‍යතාවය ඔහුට ඒ වකවානුව තුළ විය. අද දවස තුළ පවා අපි පොත පතින් ඉගෙන ගන්නේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවයි. සිංගප්පූරුව හා සංසන්දනය කරන බලන විට අප ලංකාව එයට වඩා පිටුපසින් සිටින බව අපට හැඟෙයි. ඒකට හේතුව අපි රටක් ලෙස අන් අය උදෙසා කටයුතු කර නොමැති බවයි. අපේ මාමකත්වය, ජාතිවාදී හැඟීම් අපේ රට පිටි පස්සට ඇද දමා ඇති බව සිතිය හැකියි.

වර්තමානයේ දේශපාලන කඹ ඇදීමතුළ මිරිකෙන්නේ අසරණ ජනතාවය. ඉසිලිය නොහැකි බදු බර අසරණයා තවත් පහළට ඇද දමයි. මාර්ක් 12: 13-17 හි යේසුස් වහන්සේට නින්දා කිරීමට හේතු වන ප්‍රශ්නයකින් ජේසුව පොළඹවා ගැනීමට ආශාවෙන් සිටි මිනිසුන්ට මුහුණ දෙන්නට විය. එනම් “ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.” ජේසු කාසියක් ඉල්ලා එහි කැටයම් කර ඇති දේ ගැන කල්පනා කළේය. ඔහු සීසර්ගේ රූපය දැක, “සීසර්ගේ දේ සීසර්ටද දෙවියන්ගේ දේ දෙවියන්ටද දෙන්න” කියා පිළිතුරු දුන්නේය. එම ප්‍රකාශයේ ක්ෂණික බලපෑම නම් මුදල් ලැබෙන්නේ රජය පිහිටුවා ඇති ක්‍රමවේදයෙන් බවත් ඒ නිසා රජය ඉල්ලා සිටින උපකාරය අප ගෙවිය යුතු බවත්ය. නමුත් යේසුස්ට එම ඉගැන්වීම ඉටු කළ හැක්කේ “සීසර්ට දෙන්න” කියා අනුගාමිකයන්ට උපදෙස් දීමෙනි. ඔහු තවත් ඉදිරියට යයි. "සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න." කියා කියයි. මට පේන විදියට ජේසුතුමා කියන කොටසේ ආණ්ඩුවට තැනක් තියෙනවා කියලා හිතෙනවා. එය ඉටු කළ යුතු සාධාරණ කාර්යයක් සහ යුතුකමක් ඇති බව එහි අන්තර්ගත වෙනවා. නමුත් දෙවියන් වහන්සේව සැලකිල්ලට ගැනීම පවා නව මානයක් හඳුන්වා දෙයි. සීසර්ගේ අදහස සහ යථාර්ථය ශ්‍රේෂ්ඨ හා බලවත් දෙයකි, නමුත් අපි මෙම භූමික පාලකයා අසල දෙවියන් වහන්සේ තැබූ විගස, පාලකයාගේ සැබෑ ස්වරූපය දිස්වේ . සීසර් අනෙක් සියල්ලන් මෙන් වනු ඇත. රාජ්‍යයන් බිඳ වැටෙනු ඇත. පාලකයන් දෙවියන්තුළ තම යුතුකල ඉටු නොකරන කල ඔවුන්ගේ රාජ්‍ය පාලනය අවසන් කිරීමට දෙවියන් කටයුතු කරන බවද සත්‍යයකි. දෙවියන්තුළ ඔබට මට කාර්යයක් සිදු කිරීමට ඇත. ඒ දෙය කරමු.

ජේසු පිහිටයි.

අනුරුද්ධ බණ්ඩාර පියතුමා.