ගෞ. විනයාචාර්‍යය උපාලි වික්‍රමගේ පියතුමා බොහෝ කිතුණුවන් දැන හඳුනාගන්නේ, ලක්දාස ද මෙල් විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා ලෙසයි. නමුත් ඊට අමතරව එතුමා ඉතා හොඳින් සාහිත්‍යය හා සම්බන්ධව ඒ තුළින් ගීතිකා කලාව ද ගොඩනැංවීමෙහිලා දායක වුණු කිතුණු සාහිත්‍යධරයෙකු බව බොහෝ දෙනෙකුට අමතකව ගිය කාරණයකි. 1964 දී පූජකවරය ලබන එතුමා 1989 දී විනයාචාර්‍යය පදවිය ලැබූ අතර මීතැන්වෙල,ජාකඩුව,කුඩාගම,හේවාදිවෙල,කුරුණෑගල මුල් දෙව් මැදුර ආදී දෙව්මැදුරු රැසක සිය සේවාවන් ඉටු කළ එතුමා මලන්දෙණිය වැනි ගෘහ දේවස්ථාන පළාත් ගොඩනැංවීමට ද පුරෝගාමී ව කටයුතු කළේය.
කිතුණු සාහිත්‍යය තුළ, විශේෂයෙන්ම කිතුණු ගීත කලාව තුළ එතුමාගේ දායකත්වය සොයා බැලීමේදී මුලින්ම අපට හමුවන්නේ,
දේවාතී දෙවිඳේමුළු ලොව මැව් සමිඳේ.. ගීතිකාව තුළිනුයි. ඒ ගීතිකාව ගීතිකා පොතේ මුලින්ම අප දකින ගීතිකාවක් නිසාම බොහෝ දෙනා තුළ එම ගීතිකාව පිළිබඳ ඇත්තේ සුපැහැදිලි මතකයකි. එම ගීතිකාවේ දෙවියන්වහන්සේ ගේ වැඩ විසීම පරිසරයේ සිදුවන ඉතා සියුම්ම සංසිද්ධියක් තුළ පවා ඇති බව ඔහු අපට සිහි කර දෙයි.
"විහඟුන් දෙන මිහිරී කන්කළු නද පැතිරී ඉතිරෙයි ලොව අසිරී....ඔබ යහගුණ සපිරී..."
ස්වාමීන්වහන්සේ කිසිදිනෙක නොවෙනස් වන තැනැන්වහන්සේ කෙනෙක් වගද එතුමා යළිත් බැති සිතින් සිහි කරන්නේය.
" ඔබ නොවෙනස් කිසිදා සිහි කර ගුණ සමුදාබැති සිත් මලින් පුදා අපි නමදිමු සැමදා..."
අප එදිනෙදා යනෙන, අප සහෝදර සහෝදරියන් හා සහෝදරත්වයෙන් යුතුව ශුද්ධ සහභාගිකම ලබන දෙව් මන්දිරය ගැන ද උපාලි පියතුමා මෙසේ ලියන්නේය.
"සැදැහැ සිතින්නේ අප මෙහි එක්වන්නේ ගීත ගයන්නේ දෙව් පිය නමදින්නේදෙව් මන්දීරේ - දෙව් සිරි ඉතිරේ..."
එවන් ප්‍රස්තුතයන් වලින් නොනැවතී ක්‍රිස්තුස්වහන්සේ ගේ දුක්ප්‍රාප්තිය ගැන ද වෙනස්ම කෝණයකින් එතුමා ගීතයට නැගීය.
"නගී දිනිදා පෙරදිග අහස එළිකර රැස් විහිදා නැග එන දෙරණ රත්කර අප සමිදා මුළු ලොව බර එකතු කරසැදි නොමදා කුරුසිය ඔසවමින් බර.."
ක්‍රිස්තු ප්‍රේමය තුළ ක්‍රිස්තුස්වහන්සේ ද එතුමන් එක්වරක් සිය ලේඛනයට ප්‍රස්තූත කරගත්තේය.
"අමිල අචල ප්‍රේමයෙන් - ලොව වැඩම කළේරුදුරු අරිටු කුරුසියේ දිවිය පුද කළේ අබල දුබල පව්කරුන් නිසා වැය කළේ රුහිරු ඔබගෙ ලෝ දනන් සදාතන කළේ..."
බොහෝ අංශයන්ගෙන් කිතු සසුනට සේවය කළ ගරු උපාලි වික්‍රමගේ පියතුමාගේ සේවය සැමදා මතකයේ රැඳෙනු ඇත.