1950 පෙබරවාරි දෙවනිදා , එතෙක් කොළඹ දියෝකීසියේ සහකාර රදගුරු පදවිය දැරූ අතිගරු ලක්දාස ද මෙල් හිමිපාණන් කුරුණෑගල දියෝකීසියේ මූලාරම්භක රදගුරු හිමිපාණන් ලෙස සංස්කාර කිරීමෙන් අනතුරුව ඇරඹි ලංකා සභා කුරුණෑගල දියෝකීසිය ශ්‍රී ලාංකේය සංස්කෘතික වටිනාකම් ඔස්සේ ඉදිරියට ගෙනයාම මූලාරම්භක රදගුරු හිමිපාණන් ගේ දර්ශනය විය. එතුමා බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේ සිටින සමය තුළ පර්‍යේෂණ මට්ටමකින් ගෙනගිය දේශීය සංගීත රටා ඔස්සේ නිර්මාණය කරන ලද ගීතිකා කලාවක් දියෝකීසිය තුළට හඳුන්වා දීම සඳහා ද එතුමා කැපවිය.
දේශීයකරණය තවත් ඉදිරියට ගෙන යමින් 1950 නොවැම්බර් මස ශු.තෝමස් තුමාගේ මංගල්‍යය දා ඉදිකිරීම් අරඹන ලද ක්‍රිස්තු රජිඳ මුල් දෙව් මැදුර තනිකර දේශීය ඌරුව ගනිමින් , විහාරස්ථානවල පවා යොදාගන තිබූ ඇතැම් ඉදිකිරීම් ශිල්පීය උපක්‍රම යොදා නිමකළ අතර, එය 1956 දී එවක ලංකා ඉන්දියානු බුරුම ප්‍රාදේශිකයේ අගරදගුරු ආයුරබින්දෝ මුඛර්ජි රදගුරුතුමා අතින් විවෘත විය. ඒ පරිශ්‍රය තුළටම පසුකාලීනව දේවසේවිකාරාමය එකතු වුණු අතර, එයද දියෝකීසිය තුළ කාන්තාවන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ඔස්සේ දේවසේවය සඳහා නැඹුරු කරගැනීම සඳහා ගන්නා ලද උත්සාහයකි.
කුරුණෑගල දියෝකීසිය බොහෝ සම්පත් වලින් පරිපූර්ණ වූ ස්වයංපෝෂිත දියෝකීසියක් වූ අතර අදටත් ඉතිරිව ඇති ක්‍රිස්තෝදය ගොවිපළ පරිශ්‍රය ආදිය ඊට සාක්ෂි දරයි. නමුත් එය පසුකාලීනව ඵලදායී ලෙස ආරක්ෂා කරගෙන දියෝකීසියේ සුබසෙත සඳහා භාවිතා කළා ද යන්න ගැටළුවකි.
රදගුරු ලක්දාස ද මෙල් හිමිපාණන් ගෙන් අනතුරුව ලක්ෂ්මන් වික්‍රමසිංහ , ඇන්ඩෘ කුමාරගේ, කුමාර ඉලංගසිංහ, ශාන්තා ෆ්‍රැන්සිස් , කීර්තිසිරි ප්‍රනාන්දු යන රදගුරු හිමිපාණන්ලා දියෝකීසිය වෙනුවෙන් සිය සේවාව ලබාදුන් අතර මේ වන විට රදගුරු ධූරය සඳහා පත්ව සිටින් නිශාන්ත ප්‍රනාන්දු පියතුමා සමඟ 73 වසර සමරන මොහොතේ දියෝකීසිය තවත් අළුත් යුගයකට පා නගන්නට සූදානම් වන අතර, ඒ සඳහා දේව මගපෙන්වීම නිරතුරුව පතන අතරම මේ දියෝකීසිය උදෙසා සේවය කළ වූ පූජකතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, ගිහිසේවකසේවිකාවන්, කත්සේරු මහතුන් ඇතුළු සියළු ගිහියන් ආදරණීයව මේ වැදගත් වසර තුළ සිහිපත් කරමු.